Thursday, December 28, 2017

ආනාපානසති භාවනාවෙන් ධ්‍යාන ලබාගන්නා ආකාරය
ආනාපානසති භාවනාව ගැන බොහෝ ලිපි හා පොත් පත් තිබුනත් ගොඩ දෙනෙක් සරින් සැරේ මේ ගැන ලිපියකින් පැහැදිලි කරන්න කියල ඉල්ලලා තියෙන නිසා ආනාපානසති භාවනාව ගැන මේ ලිපියෙන් පැහැදිලි කරන්න බලපොරෝත්තු වෙනවා. බුදුදහමේ මුලික අංගයක් වන ආනාපානසති භාවනාව බුදුරජාණන් වහන්සේ නමක් පමණක් ලෝකයට හෙළි කරන භාවනාවක්.සතර සතිපට්ටානයට අයත් කායානුපස්සනා භාවනා වලින් මුල්ම භාවනාව ආනාපානසති භාවනාව. ආනාපානසති භාවනාව සමාධිය දියුණු කරගන්න වගේම සත්‍යාවබෝධය උදාකරගන්නත් උපකාර කරගන්න පුළුවන් භාවනාවක්. ආනාපානසතිය දියුණු කරන්න එතරම් ලේසි භාවනාවක් නෙවෙයි. සසර පුරුද්දක් තියෙන අයට ඉක්මනින් හිත එකඟ උනත් ආධුනිකයන්ට ආනාපානසතියෙන් හිත එක්තැන් කරන්න ටිකක් අපහසුයි. ඒ නිසාම වීර්යය සහිතව එකදිගට උත්සහ කලොත් ඉතා ගැඹුරු සමාධියක් ලබාගන්න ආනාපානසති භාවනාව උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අමතරව ආනාපානසති භාවනාව වඩන කමටහන් කීපයක්ම මේ වනකොට බිහිවෙලා තියෙනවා. ඒවා මගිනුත් ධ්‍යාන ලබාගැනීම සිදුකරගන්න පුළුවන්.

ආන = ආශ්වාසය. ආපාන = ප්‍රශ්වාසය. ආනාපාන සති කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස ගැන සිහිය පිහිටවීම.

ආනාපානසතිය වැඩීමට මිනිස් සම්බන්ධතා, ශබ්ද, ආදී බාධා රහිත වෙලාවක් තෝරාගන්න. පලිබෝද රහිත ප්‍රදේශයකට ගිහින් ආනාපානසතිය වඩන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ගිහි ජිවත ගත කරන  අයට එහෙම යන්න පුළුවන් කමක් නැති නිසා දවසේ බාධා අඩුම වෙලාව භාවනාව    සඳහා වෙන් කරගන්න.  ආනාපානසතිය වැඩිය යුත්තේ භාවනා ආසනයකින් හිඳගෙන පමණයි.  වෙනත් ඉරියව් වලින් ආනාපානසති භාවනාව වඩන්න හොඳ නෑ. බද්ධ පර්යංකයෙන් වාඩි වී හිස කඳ ගෙල ඍජුව තියාගෙන භාවනා කරන්න. ශරීරය තරමක්   සැහැල්ලුවෙන් තියාගන්න.

භාවනාව කරන්න ඕනි මෙහෙමයි,
ඇස් පියාගෙන හුස්ම දෙස අවදානයෙන් බලා හිදින්න. සිහියෙන් හුස්ම ගන්න. සිහියෙන් හුස්ම පිටකරන්න. හුස්ම ගැන අවදානය යොදනකොට ඉබේම උවමනාවෙන් හුස්ම පාලනය කරන්න පෙලබෙන්න පුළුවන්. උවමනාවෙන් හුස්ම    පාලනය කිරීම   සිදුකරන්නෙපා.  ස්වාභිවික රිද්මයෙන් ආන ආපාන සිද්දවෙන්න දීලා එයට අනුව සිහියෙන් හුස්ම ගැනීමත් පිටකිරීමත් කරන්න.  හුස්ම ඇතුල්වීම ගැන "එනවා එනවා" කියල සිතුවිලි පහල කිරීමක් කරන්නේ නෑ. හැබැයි භාවනාව ආරම්භයේදී හුස්මට සිහිය පිහිටවීම එකපාරට අපහසුනම් මුල් කාලයේදී හුස්ම එනවිට " එනවා" "ආශ්වාස වෙනවා" "ආන" ආදී විදියටත් හුස්ම පිටවන විට "යනවා" ප්‍රශ්වාස වෙනවා" ආපාන" විදියටත් සිතින් හිතමින් භාවනා කලාට කමක් නෑ.

හිත තරමක් එක්තැන් වෙනකම් සති 3ක් 4ක් පමණ හුස්ම පැමිණීම පිටවීම ගැන පමණක් සිහිය පිහිටවන්න. සිත එක්තැන් වෙනකොට හුස්මේ වෙනස්කම් දැනෙන්න ගන්නවා. එතකොට දිග හුස්මක් ගන්නා විට දිග හුස්මක් බව   දැනගන්න. කෙටි හුස්මක් එනවිට කෙටි හුස්මක් බව දැනගන්න. දිගු ප්‍රශ්වාසයක් වෙනකොට දිග ප්‍රශ්වාසයක් බව දැනගන්න. කෙටිව ප්‍රශ්වාස වෙනකොට කෙටි ප්‍රශ්වාසයක් බව දැනගන්න. මෙතනදීත් "දිගයි දිගයි"   ආදී විදියට සිතින් සිතීමක් කරන්නේ නෑ. දිග හෝ කෙටි බව දැනගෙන    ආශ්වාස ප්‍රශ්වාස කිරීමයි කරන්නේ.

මේ විදියට භාවනා කරන කොට හුස්ම ක්‍රමයෙන් සැහැල්ලු වෙනවා. එතකොට හුස්ම සැහැල්ලු වීම ගැන සිහිය ඇතිවෙනවා. එතකොට හුස්මේ සැහැල්ලු බව දැනගෙන එකදිගට භාවනාව කරන යන්න. "මගේ සමාධිය දියුණු වෙලා" කියල හිතල සැහැල්ලුව අත්විදින්න යන්නෙපා. සැහැල්ලුව දැකලා සැහැල්ලු බව දැනගෙන එකදිගට ආශ්වාස ප්‍රශ්වාස ගැන සිහිය පිහිටවන්න.

හුස්ම සැහැල්ලු වෙනකොට ඒ කියන්නේ හුස්ම සංසිදෙනකොට ක්‍රමයෙන් සිතේ ප්‍රීතිය ඇතිවෙනවා. එතකොට ප්‍රීතිය දැනගෙන සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්න. සිතේ ඇතිවෙන ප්‍රීතිය රසවිදින්න යන්නෙපා. එකදිගට හුස්ම පැමිණීම පිටවීම ගැන සිහිය තියාගන්න.   මේ දේවල් කියවනකොට මේවා  කරන්නේ කොහොමද කියල පැටලිලි සහගත වෙන්න පුළුවන්    භාවනා කරගෙන යනකොට  ඒ ඒ අවස්තාවට ආවම මේ කරුණු තේරෙනවා. ඒ නිසා මේවා ගැන මුලික දැනුමක් තිබුනාම ඇති. මේ කරුණු දැනගෙන මුල ඉදන් භාවනාව කරගෙන යන්න. කියවනකොට නොතේරෙන කරුණු ගැන හිතන්න අවශ්‍ය නෑ. අදාළ අවස්ථාවට ආවම ඒවා තේරෙන්න ගන්නවා.

මේ විදියට එකදිගට භාවනා කරනකොට සිතේ ප්‍රීතිය නිසා කයට අමුතු සැපයක්, සුව පහසුවක්, පාවෙනවා වගේ සැහැල්ලුවක් දැනෙන්න   ගන්නවා.  ආනාපාන අරමුණු ගැන සිහිය පිහිටවීම අත්හැරලා සැහැල්ලුව අත්විදින්න රසවිදින්න යන්න එපා.  ඒ සැපය දැනගෙන එකදිගට සිහියෙන් හුස්ම ගැනීම හුස්ම හෙලීම සිදුකරන්න.

මෙහෙම කරනකොට හුස්ම ගැනීම පිටකිරීම ගැන පහල කරන සිතුවිලිත්, ප්‍රීතිය සුඛය හඳුනාගැනීමත්, ප්‍රීතිය සුඛය විඳීම් ආදී සිතුවිලි හොදින් පැහැදිලි වෙලා ඉස්මතු වෙලා පෙනෙන්න ගන්නවා. සිතේ වෙනත් අරමුණු නැති වීම නිසාත් සිතේ සංසිදීම නිසාත් භාවනාමය සිතුවිලි ඉස්මතු වෙලා පෙනෙනවා. එතකොට ඒ ඉස්මතු  වෙලා පෙනෙන සිතුවිලි, විදීම්, හදුනාගැනීම්, සිහිය පිහිටීම් ගැන සිහියෙන් යුක්තව භාවනාව එකදිගට කරන්න.

මේ තත්වය ඉදිරියට යනකොට සිතේ එකතැන් වීමත් එක්ක ඒ ප්‍රකටව පෙනෙන සිතුවිලි ස්වභාව වල සන්සිදීමක් ඇතිවෙනවා.  එතකොට ඒ සංසිදීම පිළිබඳව අවදානයෙන් යුක්තව ආශ්වාස ප්‍රශ්වාසය ගැන සිහිය පවත්වන්න.

මේ සිතුවිලි සංසිදීම වෙන්න වෙන්න ප්‍රභාශ්වර මුල සිත අරමුණු වෙන්න ගන්නවා. එතකොට ඒ සිත අරමුණු වීම ගැන අවධානයෙන් යුක්තව එකදිගට භාවනාව කරමින් සිහියෙන් හුස්ම ගැනීමත් පිටකිරීමත් කරන්න. මේ මට්ටමට එනකොට සිත ධ්‍යාන මට්ටමට පත්වෙනවා.


මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කල මුල් ආනාපානසති භාවනා ක්‍රමය. මේ ක්‍රමයේදී හුස්ම වදින තැනක් පිළිබඳව අරමුණු කිරීමක් හෝ හුස්ම වාර ගණන් කිරීමක් කරන්නේ නෑ. මුලින්ම භාවනාව පටනගන්න කෙනෙක් ඉස්සෙලාම මාස තුනක් විතර මේ විදියට භාවනාව පුරුදු කරන්න. හුස්ම ගැන   පමණක් සිහිය පිහිටවලා භාවනා කරන්න. එකදිගට උත්සහ   කරනවානම් මේ බුද්ධ  භාෂිතයට අනුව ඉක්මනින් සිත එක්තැන් කරගන්න පුළුවන්.


                                            ආනාපානසති භාවනාව වැඩීමට තවත් ක්‍රම කීපයක් පසුකාලීනව බිහිවෙලා තියෙනවා. මුල් බුද්ධ දේශනාව නොවුනත් මේ ක්‍රම මගිනුත් ධ්‍යාන ලබාගත් පිරිස ඉන්න නිසා ඒවා පිළිබඳවත් සඳහන් කරන්නම්.

                                            ආශ්වාස ප්‍රශ්වාස පිලිබඳ සිහියෙන් ඉදලා නහය අග, තොල් උඩ හෝ නහය තුල හුස්ම වදින තැනක් අරමුණු කරගෙන එතන හුස්ම වැදීම අරමුණු කරගෙන ආශ්වාසය හා ප්‍රශ්වාසය හඳුනාගැනීම එක ක්‍රමයක්. මේ  ක්‍රමයේදීත් අවධානය යොමු කරන්නේ හුස්ම ඇතුළුවීම පිටවීමට මිසක් ඒ තැනේදී හුස්ම වැදීම පිළිබඳව නෙවෙයි. හුස්ම වැදෙන තැනක් හොයාගන්නේ   හුස්ම යාම ඒම අරමුණු කරගන්න ලේසි වෙන්න.

                                            හුස්ම එන වාරයක් පාසා හෝ පිටවන වාරයක් පාසා "එකයි දෙකයි" ආදී විදියට 10 වෙනකම් සිතින් ගණන් කිරීම තවත් ක්‍රමයක්.  හුස්ම යන එන අවස්ථා දෙකේදීම ගණන් කිරීම කරන්න එපා. එතකොට ආශ්වාස ප්‍රශ්වාස කිරීම ගැන අවධානය යොමු කරන්න බැරි වෙනවා.

                                           මේ වගේ ක්‍රම භාවිත කරන්නේ භාවනා අරමභයේදී පමණයි. ඊට පස්සේ තියෙන පියවරවල් වල වෙනසක් නෑ. ත්‍රිපිටක දේශනාවේ තියෙන විදියටම තමා ඊලග පියවරවල් දියුණු කරන්නේ. ආනාපානසති භාවනාව හොදින් පුරුදු කලාම හිත ඉක්මනින් එක්තැන් කරගන්න පුළුවන් භාවනාවක්. ආනාපානසතිය දියුණු වීමේදී ආලෝක නිමිති වගේ උද්ග්‍රහ නිමිති ප්ටිග්‍රහ නිමිති සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ නෑ. ඒකට හේතුව ආනාපානස්තියේ අරමුණ හුස්ම නිසා. උද්ග්‍රහ පටිග්‍රහ නිමිති  විදියට  වෙන්නේ හුස්ම රැල්ල වඩාත් පැහැදිලිව අරමුණු වීම පමණයි. කලාතුරකින් සමහර කෙනෙක්ට ආලෝක නිමිති ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ  කෙනෙක්ට එක්කෝ එකදිගට හුස්ම ගැනම අවධානය යොමු   කරලා භාවනා කරන්නත් පුළුවන්. නැත්තම් ආලෝක නිමිත්ත දියුණු කරගෙන ධ්‍යාන වලට පත්වෙන්නත් පුළුවන්. මම හිතන හැටියට බහුතරයකට වඩාත් සුදුසු ක්‍රමය ආලෝක නිමිති ආදිය ගැන අවධානය නොදක්වා එකදිගට හුස්ම ගැනම සිත එකඟ කිරීම.

ආනාපානසතිය මගින් තරමක් දුරට සිත එකඟ වෙන්න පටන්ගන්නකොටත් අනුන්ගේ සිතුවිලි දැනීම අනාගතේ වෙන්න තියෙන දේවල් දැනීම වගේ අත්දැකීම් ලැබෙනවා.ආනාපානසතියේ අරමුණ හුස්ම නිසා පොඩි වෙලාවක් භාවනා කලත් හිත හොදින් සැහැල්ලු වෙලා හොදින් එක්තැන් වීම සිද්දවෙනවා. හැබැයි ආරම්භයේදී ගොඩක් අයට ආනාපානසති අරමුණෙ හිත එකඟ කරන්නඅමාරු ගතියක් තියෙනවා. ඒ නිසා හදිස්සි වෙන්නෙත් නැතුව ප්‍රතිපල නොලැබුණාම උත්සාහය අතාරින්නේත් නැතුව එකදිගට උත්සහ කරලා ධ්‍යාන මට්ටමට සිත පත් කරගන්න උත්සහ කරන්න.

ආනාපානසති භාවනාවට සම්බන්ධ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේගේ ලිපියක තිබුණු උපදෙස් කීපයක් වැදගත් කියල හිතුන නිසා mahamevnawa.lk වෙබ් අඩවියෙන්උපුටාගෙන මෙතන සඳහන් කරනවා-

වාඩි වීම අපහසු නම්….
දැන් ඔබට පළඟක් බැඳගෙන වාඩිවීම තමයි ටිකක් අමාරු කාරණාව. මොකද අපේ රටේ බොහෝ දෙනෙකුට පළඟක් බැඳගෙන වාඩිවුණාට පස්සේ කොන්ද කෙළින් කරගන්න අමාරුයි. මේකට පොඩි උපක‍්‍රමයක් තියෙනවා. උපක‍්‍රමේ තමයි ඔබට පුළුවනි පුංචි මෙට්ටයක් (රබර් මෙට්ට නෙවෙයි, රබර් මෙට්ට අමාරුයි) කොහු මෙට්ටයක වගේ පොඩි මෙට්ටයක් හරිගස්ස ගන්න. අඟල් තුන හතරක් විතර උසට, එහෙම නැත්නම් ඔබට පුළුවනි පුංචි බංකුවක් හරිගස්ස ගන්න. අඟල් තුන හතරක් උසට.
හරිගස්සගෙන ඊට පස්සේ ඒකේ වාඩිවෙලා කකුල් දෙක පහළට දාගෙන ඊට පස්සේ ඔබට කොන්ද කෙළින් කරගන්න පුළුවන්. ඉතින් ඔබ එ්කෙදි සැලකිලිමත් වෙන්න අවධානය යොමු කරගන්න. හේත්තු වෙන්න පුරුදු වෙන්න එපා. හේත්තු වෙන්න පුරුදු වෙන්නෙ නැතිව ආසනේ වාඩිවෙලා කොන්ද කෙළින් කරගන්න පුරුදු වෙන්න. සමහරුන්ට පුළුවනි බොහොම ලස්සනට බිම වාඩිවෙලා එරමිණිය ගොතාගෙන හොඳට කොන්ද කෙළින් කරගන්න. එ් නිසා එ් විදිහට ඔබට බැරිවුණා කියල ඔබ පසුබට වෙන්න එපා. ඔබට පුළුවන්කම තියෙනවා එ් විදිහට වාඩිවෙලා කොන්ද කෙළින් කරගන්න. එතකොට ඔබගේ මූලික කරුණ හරි.

මතක තියාගන්න ඒකට වීරිය, නුවණ සිහිය වුවමනයි. මේ වීරියත්, නුවණත්, සිහියත් පාවිච්චි කරල දැන් ඔබ කරන්න ඕනෙ මොකක්ද? සිහියෙන් හුස්ම ගන්න එක. සිහියෙන් හුස්ම හෙලන එක. හැබැයි මේකට ඔබ පොඞ්ඩක්වත් මානසිකව දුක්වෙන්නෙ නැති, පසුබහින්නෙ නැති, පසුතැවෙන්නෙ නැති පරිසරයක් හදාගන්න ඕනෙ. හිතින් දුක් විඳින්න නම් එපා. ඔබ එසේ කරන විට සිත එකඟ වෙන්නෙ නෑ කියල තැවෙන්න එපා. ඔබ කළ යුත්තේ සිහිය පිහිටුවාගෙන හුස්ම ගැන ඒ කියන්නේ ආනාපානසතිය ගැන, ඒ කියන්නේ ආශ්වාස ප‍්‍රශ්වාස ගැන සිහිය පිහිටුවීමයි. එතකොට ඔබට මේ ආශ්වාස ප‍්‍රශ්වාස වල සිහිය පිහිටුවාගෙන ඔබේ සිත දියුණු කරගෙන උදාර මනුස්ස ජීවිතයක් ලබාගන්නට පුළුවන් වෙනවා.
එතකොට ආශ්වාස ප‍්‍රශ්වාසයේ සිහිය පවත්වන එක ඔබ වෙනස් කරන්නෙ නෑ. බොහෝ දෙනෙකුට සිද්ධවෙන මූලික ගැටලූවක් තමයි, භාවනාව සිදුකරගෙන යනකොට සමාධියක් ඇතිවුණා කියමු. ඒ කෙනා හිතන්නෙ මේ සමාධිය ඉබේ හටගත්ත එකක් කියලයි. සමාධිය ඇතිවුණේ සමාධිය ඇතිවෙන ආකාරයට හේතු සකස් වුණු නිසා. වීර්යය පිහිටපු නිසා. නුවණ පිහිටපු නිසා. හේතු නිසා ඒ සමාධිය සකස් වුණේ. සමාධියෙන් නැගිටින කොට ඒ සමාධිය නැතිවෙලා යනවා. එ්ක අවබෝධයක් නැති කෙනා හිතනවා ආනාපානසතිය පටන් ගන්න කොටම අර පරණ විදිහටම හිත සමාධිගත වෙන්න ඕනෙ කියල. හිතල ආනාපානසතියට අඩු අවධානයක් යොමු කරල, ඇති වෙච්ච සමාධිය ගැන හිතන්න පටන් ගන්නවා. එතකොට ආනාපානසතිය හරියට වැඩෙන්නෙ නැති නිසා සමාධිය වැඩෙන්නෙ නෑ.
සමාධිය නැති වුණා කියල දුක් වෙන්න එපා..
ඊට පස්සේ සමාධිය නැතිවෙලා යනවා. ඊට පස්සේ එයාට දුකක් ඇතිවෙනවා, ”අනේ මම ඉස්සර හොඳට සමාධිය වඩපු කෙනෙක්. ඉස්සර මට හොඳට සමාධියක් තිබුණ. දැන් මට සමාධිය දියුණු වෙන්නෙ නෑ” කියල මානසිකව දොම්නසක් ඇති කරගන්නවා. දොම්නසක් ඇති කරගත්ත ගමන්ම එයාට ප‍්‍රශ්නයක් තියෙනවා. දොම්නස කියල කියන්නෙ හිතේ ඇතිකරගත්ත දුක. හිතේ මේ දුක හේතු කරගෙන හිත විසිරෙන්න පටන් ගන්නව. හිත විසිරෙන කොට හිත සංසිඳෙන්නෙ නෑ. හිත සංසිඳෙන්නෙ නැතිවෙන කොට ආශ්වාස ප‍්‍රශ්වාස අරමුණේ සිහිය පිහිටුවා ගන්න බැරිවෙනවා. ආශ්වාස ප‍්‍රාශ්වාස අරමුණේ සිත පිහිටුවා ගන්න බැරි වෙන කොට, සිහිය පිහිටන්නෙ නැතිවෙලා යනවා. සිහිය පිහිටන්නෙ නැතිවෙන කොට සිත එකඟ වෙන්නෙ නැතිවෙලා යනවා. එකඟ වෙන්නෙ නැති වෙනකොට සමාධිය තවදුරටත් නැතිවෙලා යනවා. එතකොට එයා තවදුරටත් අසහනයට පත්වෙනවා. ඒ නිසා ඒ ක‍්‍රමය අනුගමනය කළ යුතු ක‍්‍රමයක් නොවෙයි.
දිගටම සිහිය පවත්වාගන්න….
අපි දන්නවා සමහර පින්වතුන් ඉන්නව ආනාපානසති භාවනාව කරගෙන යනකොට, ටික ටික සමාධිය දියුණු වේගෙන යනකොට ආශ්වාස ප‍්‍රශ්වාස සිහිකරන එක එයා නතර කරනවා. අත්ඇරල ආශ්වාස ප‍්‍රශ්වාස දිහා බලාගෙන ඉන්න පුරුදු වෙනවා. සමාධිය පුරුදු කරල තියෙන නිසා ආශ්වාස ප‍්‍රශ්වාස නොදැනී යන මට්ටමට එන අය ඉන්නවා. ආශ්වාස ප‍්‍රශ්වාස නොදැනී ගියොත් එයාට තමන් කරන්න එන භාවනාව මොකක්ද? මම මොකක්ද කරන්නෙ කියන කල්පනාව එයාට එන්නෙ නැතිව යනවා. මේ නිසා හොඳම දේ තමයි, ආශ්වාස ප‍්‍රශ්වාස නොදැනී යන්නෙ නෑ කවදාවත්. පැය ගණනක් වුණත් ආශ්වාස ප‍්‍රශ්වාස සිහිකරන්න පුළුවන්. මනසිකාර කරන්න ඕනෙ, ආශ්වාසයක්…. ප‍්‍රශ්වාසයක්…. ආශ්වාසයක්…. ප‍්‍රශ්වාසයක්…. කියල. අන්න එහෙම මනසිකාරයේ යෙදීමෙන් තමයි ආශ්වාස ප‍්‍රශ්වාස දියුණු කරන්න තියෙන්නෙ. සමහර කෙනෙකුට ටික වෙලාවක් ආනාපානසති භාවනාව කරද්දි, ආශ්වාස ප‍්‍රශ්වාස නොදැනී යනවා. ඒ කෙනා භාවනාව කරන්න පටන් ගන්න කොටම හිතට අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනෙ, මම දිගටම ආශ්වාසයත් ප‍්‍රශ්වාසයත් මෙනෙහි කරනවා, මේක නොදැනී යන්න දෙන්නෙ නෑ කියල. එතකොට ඒ විදිහට සකස් වෙන්නෙ නැතිව ආශ්වාස ප‍්‍රශ්වාස දිගටම පවත්වන්න පුළුවන්. ආශ්වාස ප‍්‍රශ්වාස එහෙම පවත්වද්දිත් නොදැනී ගියොත්, ඔබ හිතන්න මේ ආශ්වාස ප‍්‍රශ්වාස නොදැනී ගියාට, මේ ආශ්වාස ප‍්‍රාශ්වාස නිරුද්ධ වෙලා නොවෙයි. ආශ්වාස ප‍්‍රශ්වාස තියෙනවා. ඒ නිසා මම සිහියෙන් විමසනවා කියල ආයෙ නුවණින් විමසන කොට හිමිහිට තේරුම් යනව ආශ්වාසයක්, ප‍්‍රශ්වාසයක්, හුස්ම ගැනීම හුස්ම හෙලීම ඔබ තුළ තියෙන බව. මේ විදිහට ආශ්වාස ප‍්‍රශ්වාස දෙක දිගටම පවත්වන්න තමයි ආනාපානසතියේදී පුරුදු වෙන්න තියෙන්නෙ.
ගිහි ගෙදර අපටත් ධ්‍යාන….?
ධ්‍යාන කියන වචනය ඇහෙන කොට සමහර විට තැති ගන්න පුළුවන්. බය වෙන්න පුළුවන්. අපි මේ ගිහි ගෙවල් වල ගතකරන අය. අපි කොහොමද මේ ධ්‍යාන වඩන්නෙ කියල. ඒක වෙන්නෙ ඔබ වටපිටාවේ නියම ධර්මය කතා කරන පිරිසක් නැති නිසාත්, ධර්මය පිළිබඳ ඔබේ විශ්වාසය දුරු කරල තියෙන නිසාත්, ධර්මය කෙරෙහි ඔබේ ශ‍්‍රද්ධාව නැති නිසාත්, ධර්මය ප‍්‍රායෝගිකව පුරුදු කරන ආකාරය ඔබ නොදන්නා නිසාත් මිසක ධර්මයේ ඇති දුර්වලකමක් නිසා නොවේ. ඊළඟට අපි හොඳටම දන්නවා දහස් සංඛ්‍යාත පිරිසක් සමාධිය වඩනවා, ධ්‍යාන වඩනවා මේ රටේ. ගිහිගෙවල්වල ගත කරමින් කරනවා. ඒක මම හොඳටම ප‍්‍රායෝගිකව දන්න දෙයක්. ඒ නිසා ඔබ ඒ වගේ සැකයක් සංකාවක් ඇති කරගන්න එපා. විශ්වාස කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ම යි. එ් නිසා ඔබට සමාධියක් දියුණු කරගන්න පුළුවන් වෙන කොට එ් සමාධිය ඔබ නිතර නිතර පවත්වන්න.
තවම අපි ඔබට මේ උගන්වන්නෙ සමථ භාවනාව දියුණු කරගන්නා ආකාරය. මේ විදිහට ඔබ දියුණු කරගත්තොත් සමථය දියුණු කරගන්න පුළුවනි. හැබැයි මේකෙදි සමාධිය දියුණු වෙන්නෙ නැතිවෙන කොට මේ රටේ විවිධ ක‍්‍රම තියෙනවා ඔබ අහුවෙන්න එපා එ්වට. සමහරු කියන්න පුළුවනි, අයියෝ සුළුදෙයක් නෙ ඕක. මගේ ළඟට එන්න මම විනාඩි දහයෙන් ධ්‍යානයට දාල දෙන්නම් කියල. සමහරු කියන්න පුළුවන් විනාඩි තිහක් පුළුවන් නම් ඔබට සමාධියෙන් ඉන්න මම ඔබව පළවෙනි ධ්‍යානයට තල්ලූ කරල දාන්නම් කියල. මේව කියන්නෙ ඔබේ හදිස්සිය තේරුම් ගන්නයි. නමුත් ඒකෙන් ප‍්‍රකට වෙන්නෙ ඒ කෙනාගෙ නොදැනුවත්කමමයි. මේ නිසා සමාධියෙදි පංච නීවරණ යටපත් වෙන්න ඕනෙ. පංච නීවරණ යටපත් වෙන තාක් සමාධිය දියුණු කරන්න බෑ. පංච නීවරණ යටපත් වෙනකොට සමාධිය ඇතිවෙනවා. සිහිය දියුණු වෙනවා.

No comments:

Post a Comment