Thursday, December 28, 2017

සෞභාග්‍ය ඇතිකරන අධිමානසික අභ්‍යාසයක්

අද මම පැහැදිලි කරන්න බලොරොත්තු වෙන්නේ සිතේ ශක්තිමත් බව වැඩිකරන සිත ප්‍රබෝදයට පත් කරන කෙටි භාවනාවක්. මේ භාවනාව මම නිර්මාණය කරලා දියුණු කරපු භාවනාවක්. බ්ලොග් අඩවියේ Views 200 000 පසු කිරීම වෙනුවෙනුත් අද දිනට (2017 - 12 - 27 දිනට) යෙදී තියෙන මගේ උපන්දිනය වෙනුවෙනුත් මම දියුණු කරපු මේ භාවනා ක්‍රමය පලකරන්න තීරණය කළා.
මේක භාවනාවකටත් වඩා මානසික අභ්‍යාසයක් කියල කියන්න පුළුවන්. හැමදාම උදේ ඉර එලිය පායාගෙන එන වෙලාවේ හෝ හවස 7 වගේ වෙලාවන් මේ අභ්‍යාසය වරක් දෙවරක් කරන්න.


දිග හුස්මක් අරන් පිටකරන්න. ඒත් එක්ක ඇතිවෙන සැහැල්ලුව අත්විදින්න.  තුන් පාරක් මේ විදියට හුස්ම පිටකරන්න

මීලගට මේ දේවල් හිතන්න. හිතන ගමන් ඒවා සිදුවෙන බව සිතින් දකින්න. වචන වල අර්ථ හොදින් සිහිකරමින් අභ්‍යාසය කරන්න.
   මගේ කය සැහැල්ලු වෙනවා
   හිත සැහැල්ලු  වෙනවා
   මම සැහැල්ලුයි සැහැල්ලුයි සැහැල්ලුයි
   මගේ හිත පිරිසිදුයි පාරිශුද්ධයි ප්‍රභාශ්වරයි මගේ හිත පිරිසිදුයි පාරිශුද්ධයි ප්‍රභාශ්වරයි මගේ හිත පිරිසිදුයි       පාරිශුද්ධයි ප්‍රභාශ්වරයි 


නැවතත් දිග හුස්මක් ගන්න. හුස්ම ගන්නා විට හිසේ සිට පාදාන්තය දක්වා මුළු ශරීරයම විශ්ව ශක්තියෙන් නැහැවී යන බව සිතින් දකින්න. ශරීරය පදාර්තමය ස්වභාවයෙන් මිදී ශක්තිමය ස්වභාවයට පත්වෙන බව සිතින් දකින්න. මේ විදියට  කීප වරක් හුස්ම ගන්න. මුළු ශරීරයම ශක්තියෙන් තැනි ඇති බව ආලෝකයෙන්  තැනි ඇති බව සිතින් දකින්න. කුණ්ඩලිනි  චක්‍ර හතම සක්‍රිය වන බවත් චක්‍ර වලින් ස්වර්ණාලෝක ශක්ති කිරණ පිටවෙමින්  දිලිසේනබවත් සිතෙන් දකින්න. ඒත් සමග ශක්තිමය ස්වභාවයට පත් වී ඇති ශරීරය ආලෝකමත්ව දිලිසෙන බවත් ශරීරයෙන් සියලු දිශා වලට ස්වර්ණමය ආලෝක රැස් පිටවෙන බවත්  සිතින් දකින්න. මුළු වටපිටාවම ආලෝකමත් කරමින් චක්‍ර වලිනුත් ශරීරයෙනුත් ස්වර්ණමය රැස්   පිටවන බව සිතින් දකින්න. ඒ ශක්ති කිරණ මුළු විශ්වය පුරා පැතිරී  යන බව සිතින් දකින්න.




මීලගට මේ විදියට හිතන්න. හිතන ගමන් මේවා සිදුවෙන බව සිතින් දකින්න.
විශ්වය ශක්තිමයයි. මමත් ශක්තිමයයි.  ශක්තිමය මා විශ්ව ශක්තිය සමග මුහු වෙනවා.  විශ්වයට සම්බන්ධ වෙනවා. විශ්වය සමග   ඒකාත්මික වෙනවා. මම විශ්වයට විවෘත වෙනවා. විශ්වයේ සියලු යහපත් ශක්තින් මා වෙත එනවා. දිව්‍යමය සුභ  ශක්තින් මා වෙත ආකර්ෂණය වෙනවා. සියලුම යහපත් සුභවාදී දිව්‍යමය ශක්තින් වලින් මාව නැහැවෙනවා. මා වෙත සෞභාග්‍ය සතුට වාසනා ශක්තින් ඇදී එනවා. ඒ ශක්ති  වලින් මාව නැහැවෙනවා. මගේ ශරීරය පුරා ඒ ශක්තින් ගබඩා වෙනවා.  සියලුම අයහපත්  ශක්තින් ඉවත් වී විසි වී යනවා. සියලුම දිව්‍යමය සුභ ශක්තින් මා තුලට කිඳා බහිනවා.
ඒවා මගින් මගේ ජීවිතය සාර්ථක  වෙනවා. මගේ ජීවිතය සෞභාග්‍යමත් වෙනවා. සැප සම්පතින් පිරි යනවා. මා තුල ගබඩා වන ශක්තිය  යහපත් සිතුවිලි ලෙස යහපත් වචන ලෙස යහපත් ක්‍රියා ලෙස නැවත විශ්වයට ප්‍රදානය කරනවා.
මම ආලෝකමත්.
මම ප්‍රභාශ්වරයි.
මගේ සිත ශක්තිමත්
මම සතුටින්
මම ප්‍රීතිමත් වෙනවා,  ප්‍රබෝදමත් වෙනවා,  සුවපත් වෙනවා,  සැපවත් වෙනවා
මගේ සිත පිරිසිදුයි පාරිශුද්ධයි ප්‍රභාශ්වරයි


මීලගට විනාඩි තුනක් පමණ කිසිවක් නොහිතා නිශ්චලව හිත දිහා බලා ඉදලා භාවනාව නතර කරන්න.

මේ අභ්‍යාසය කීප වරක් කලාම හිත හොදින් ප්‍රබෝදමත් වෙනවා. ශක්තිමත් වෙනවා. හිතේ තියෙන අදුරු ගති නැතිවෙලා ගිහින් ධනාත්මක බවක් ඇතිවෙනවා. Stress  වෙලාවක  හිත Refresh කරගන්නත් මේ භාවනාව උපකාර කරගන්න පුළුවන්. මේක ධ්‍යාන ලබාගන්නා භාවනාවක් නෙවෙයි. ඒ  නිසා විනාඩි 5 - 10 කට වඩා මේක කරන්න එපා. මේ අභ්‍යාසය ජිවිතයේ සාර්ථකත්වයට අවශ්‍ය මානසික ශක්තිය ලබාගන්න දිනපතා උදේ හෝ හවස පොඩි වෙලාවක් පුරුදු කරන්න.


මේ අභ්‍යාසය කරනකොට වාඩි වී ඉන්නේ නැතුව සිටගෙන ඉදිමින් අත්   උරහිස් මට්ටමට පහලින් දෙපසට විහිදුවාගෙන හිස තරමක් ඉහලට ඔසවාගෙන ඉන්නවානම් ගොඩක් හොදයි. ඒ ඉරියව්වෙන් ඉන්නකොට විශ්ව ශක්තිය වටපිටාවේ සිට තමන් තුලට එනවා කියල හොදින් සන්වෙදනය වෙනවා.





 


(මෙම ලිපි අනවසරයෙන් උපුටාගැනීමෙන් වලකින්න.)

No comments:

Post a Comment